Tuesday, January 9, 2018

මිතුරු සන්ථවය සහ බූරුවා කුට්ටම





ජීවීන් සිටින්නේ අප ජීවත් වන පෘතුවි ගෝලයේ පමණකැයි පරම විශ්වාසයක් පැවතියේ ය. අද වනවිට ඒ විශ්වාසය යළි විමසීමකට ලක් ව තිබේ. මන්ද යත් අප හදුනා ගත් විශ්වයේ සීමාවන් වඩා පුළුල් බවත් ජීවීන් සිටින ග්‍රහලෝක තවත් තිබෙන්නට ඇති බව හෙළිදරව් කෙරෙමින් පවතින බැවිනි. එය එසේ වෙත් නම් ග්‍රහ ලෝක අතර පෘතුවි හුදෙකලාව පහව යනු ඇත. නව අභියෝග මුණ ගැසෙනු ඇත. සිනමාවට පමණක් සංකල්පනය වූ ග්‍රහ ලෝක අතර වන යුද්ධ star wars සැබෑවක් වනු ඇත.

       ග්‍රහ ලෝක යුද්ධ කෙසේ වෙතත් පෘතුවි හුදෙකලාව පහවී යාම හොඳය. රට රටවල් ලෙස ගොඩ බිම් දේශ සීමා හෝ මුහුදු  සීමා හෝ සහිතව බෙදී සිටින මිනිස් ප්‍රජාවක් පවත්වා ගන්නා ව්‍යාජ අන්තර් සබදතාව ගැන සිහි කරද්දී වෙනත් ග්‍රහ ලෝකවාසී ජනතාවක් සමඟ කෙබඳු අන්දමේ සබඳතාවක් පවත්වා ගන්නේ ද යන්න ගැන මා තුළ විචිකිච්චාවක් හට ගනියි.

      ජාති, ආගම්, භාෂා සහ දේශ සීමා බේද රහිතව ‘ලෝකය තනි යායකි‘ යන සිතුවිල්ලෙන් වෙළුන මිනිස් සමාජයක් පිළිබද සිහිනයක් මම දකිමි. ඒ හීනය තුළ එකිනෙකා අතර පවතින සබඳතාව හෘදයාංගම එකකි. එහි සැඟවුණ ස්ථාන රහිත විවෘත එකකි. සිනහව අවංක ය. සුබ පැතුම් නිර්වාජ්‍යය. එහෙත් ඒ සිහිනයෙන් වෙලී සිටිය නොහැකි ය. ජීවිතය සජීවි ය. එනිසා මම අවදි වෙමි.  අවදි වූ පසු අප හමුවේ සිටින්නෝ කවරහු ද?

      මිනිස් සමාජයේ පවත්නා සබඳතා කුඩා දරුවකු අවකාශයට මුදා හරින සබන් බුබුළු වැනි ය. ඒවා බැලූ බැල්මට සුන්දර ය. වර්ණවත් ය. එකිනෙක වෙලී දාමයක් ලෙස හැසිරෙනු පෙනෙයි. එහෙත් පුංචි සෙලවීමකින් පවා බිඳී යයි. මිත්‍රත්වය එවැනි අස්ථාවර සුන්දරත්වයක් ද? 

      තමාගේම ප්‍රිස්මයකින් හැමෙකකුම ලොව බලන නිසා අනෙකා යනු තමාගේ අවබෝධ සීමාවේ සිර ව සිටින්නකු පමණකි. මිනිසා තුළ ස්වභාවයයෙන් ම පිහිටන සුවිශේෂ අනන්‍යතා පවා තමාගේ ප්‍රිස්මීය රූපය තුළ බොඳ කර හරියි. අනෙකාගේ දෑසේ ප්‍රීතිය වෙනුවට ශෝකය රැඳී තිබෙනු අපේක්ෂා කරයි. උගත්කම යනු සහතිකධාරී භෞතිකයක් බව දැන දැන ම සත්‍යය පිළිගැනීමට මැලි වෙයි.

      මේ මිනිසාගේ හැටියක් ය. එය මිතුරුකමට ආරෝපණය කළ කල්හි තත්ත්වය වටහා ගැනීම පහසු ය. ‘මිතුරු තොමෝ දුක සැප දෙකෙහිම පැවතී
 බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවිති‘ යි කීවෝ සැළලිහිණි සඳෙස් කතුවර සිරි රහල් හිමියෝ ය.
ඒ සිය අපේක්ෂාව වෙනුවෙන් දුෂ්කර පියඹා යාමකට මඟට බසින සැළලිහිණි මිතුරා අරභයා ය. ගෞතම බුදුන් පසුපසින් විහාරයට ගිය නන්ද කුමාරයාට සිය ගිහි සුඛය අත්හැර දැමීමට සිදු වූයේ ද මිතුරුකම කෙරෙහි දැක්වූ විශ්වාසය නිසා ය. කුමාරදාස රජතුමාට සිය දිවි හානි කර ගැනීමට මුල් වූයේ ද සිය ප්‍රාණ සමාන මිත්‍රරා වූ කිවියර කාලිදාසට නොකල්හි අත් වූ මරණය ඉවසා ගත නොහී ය. 

      ඒ මිත්‍රත්වයේ දිග පලල කුමක්දැ යි අපට වටහා දෙන අතීත උදාහරණයෝ ය. මෙහිදි අපට අමතක කළ නොහැකි අමනකම්ද  මිත්‍රත්වය නිසා සිදුවනු ඒ ඉතිහාසයම දක්වා සිටියි. ‘සුබ‘ නම් දොරටුපාලයා සහ තමාගේ රුව සමාන වීමේ ප්‍රහර්ෂයෙන් වෙළුන යස නම් රජ සිය සිහසුන ඔහුට තාවකාලිකව පිරිනැමූ බරපතළ විහිළුවද අමතක කළ නොහැකි ය. ඉන් සිදු වූයේ මිත්‍රත්වය පමණක් නොව රජකමත් නැතිව යාම ය. මිත්‍රත්වය ලාභාලාභ ගිණුමක බහා අවසාන ශේෂ පත්‍රය සකස් කරන අංක ක්‍රීඩාවක් නොවේ. 

      මිත්‍රත්වය වෙනුවෙන් දිවි දීමට පවා ඉදිරිපත් වූ මිතුරුකම් ගැන දන්නා අපට අද අත් විඳින ව්‍යාජය හඳුනා ගැනීමේ අපහසුතාවක් තිබෙන්නට බැරිය. එම සබඳතා ආරෝහණයට මෙන් ම අවරෝහණයට ද ගමන් කරන අන්දමේ ජාලගත කිසිවකි. එය අස්පර්ශනීය වුවත් වින්දනීය පාර්ශ්වයෙන් සංවේදනා සහිත ය. ප්‍රීතිය මෙන් ම දුක ද එහි ගැබ්ව තිබේ. ප්‍රතිඋපකාරිත ජීවන හුස්මකි. කොන්දේසි විරහිත දිවුරුමකි. මිත්‍රත්වය වෙනුවෙන් සිය දිවි පුද කිරීමේ ශක්තිය ලැබෙන්නෙ එහෙයිනි.




       අතිතය පීරා වර්තමානයට එද්දී අද තරම් මිතුරු සන්ථව එදා තිබුණාදැ යි දැනී නැගෙන විස්මය දෑස් මත රැදෙයි. පෑනේ මිතුරෝ ය. වැරදුණ ඇමතුමට ද මිතුරෝ ය. පාසල් පමණක් නොව වෘත්තීය සබඳතා අතරේද මිතුරු සන්ථව ය. බස් දුම්රිය මගී සන්ථවයෝ ය. ඇවිදින මංතීරු ය, මුහුණු පොත ය, ටුවිටර් ය, වට්ස් ඇප් ය, වීඩියෝ කෝල් ය, සාහිත්‍ය ඈ කලාකාමී මිතුරු දම් ය. අතන ය. මෙතන ය. එපමණක් ද? සෝම පානය පිණිස ම කැප වුණු මිතු දම් ය.

        එකී මෙකී නොකී මිතුරු දම් ජාලයක රැදී වුව මිනිසා සිටින්නේ මරණීය හුදෙකලාවකය. ඛාජ්‍ය බෝජ්‍ය කතා ලතා නිම වූ සැණින් එකිනෙකා තනි තනිව සිය හුදෙකලාවේ තනිවෙයි. එය උදාහරණ වන්නේ නූතන ලෝක සමාජයේ අන්තර් රාජ්‍ය සබඳතා ජාලයට ය. ඒ සබඳතා සියල්ල ව්‍යාජ ය. සීමා සහිත ය. කොන්දේසි සහ රට රටවල ජාතික අපේක්ෂාවට යටත් ව ය. මිතුරු දම් එසේ ම ය. ස්වයං ප්‍රිස්මීය ආස්ථානයක සිට විවරණය කෙරෙන මානුෂික සබඳතාවකින් එහා මේ කිසිදු බැඳීමක් ගමන් නොකරයි. වින්දනය කරන ඕනෑම මිහිරක් ක්ෂණයකින් අවසන් කිරීමේ සමත් ය.

       මෙවැනි සබඳතා සහ කාඩ් කුට්ටම (බූරුවා කුට්ටම - playing cards) අතර අවියෝජනීය බැදීමක් ඇති බවක් මට දැනේ. කොළ පනස් දෙකකින් සමන්විත කාඩ් කුට්ටම විවිධ සූදු ක්‍රීඩා වෙනුවෙන් භාවිතා කරයි. ඒ සදහා එකට බැදුණ කාඩ් පනස් දෙකක් ඇත. ඒවා මිතුරෝ ය. එකම ජාලයකට බැඳී සිටිති.

         අංක 2 සිට 10 දක්වාත් J Q K A ලෙස අක්ෂර සහිත කාඩ් හතරකුත් රුවිත, හාරත, කලාබර සහ ස්කෝප්ප ලෙසින් නාමකරණය වූ සංකේත ලෙස මේ හැම ඉලක්කමක් සහ අක්ෂරයක්ම හතර වර්ගයක් ලෙස එකට බැඳී සිටිති. විවිධ වෙනස්කම් ඇතත් මේ කාඩ් පනස් හතරම බැදි සිටින්නේ අනෙකාගේ විනෝදය සම්පාදනය කිරීමේ වගකීම ය. එසේ වුවත් මේ හැම කාඩ් එකක්ම එක් එක් ක්‍රීඩාවලදි තමන්ට නියම වන භූමිකා පමණක් දරති. සාමාන්‍ය අගයේදී Q, K සහ Aට යටත් වන J තුන්සිය හතරේදී රජ තනතුර දරයි. J තුනක් එකතු වූ විට මුළු ක්‍රිඩාවේම ජය ලබා ගැනීමට තරම් ප්‍රබල වෙයි. නමුත් ඔමි ක්‍රීඩාවේදී තුරුම්පු 7 ටත් කැපී යයි. J කාඩ් කුට්ටම තුළ විවිධ භූමිකා දැරුවත් ලංකාව තුළ දි එය ‘බූරුවා‘ ය. බූරුවා යන අර්ථයට අදාළ සියල්ල එම කාඩ් එකට හිමි ය. එනිසා කාඩ් කුට්ටමේ කුමන තරාතිරමක් දැරුවත් සමාජය විසින් ඔවුන්ගේම සහතික නිකුත් කරන බව අපට අමතක කළ හැකි නොවේ. මන්ද පුද්ගලයාට ඉහළින් සමාජය බලවත්ව සිටින බැවිනි.

         මේ සියල්ල හෙළිදරව් කරන්නේ මිනිස් සබදතාවල හැටි ය. කිිසිවකු නියත ස්ථානයක වැජඹීම මිතුරු දමක් ලෙස අර්ථ ගැන්විය නොහැකිය. හැමකෙකුම ඒ ඒ අවස්ථාවලදී අවස්ථානූකූල භූමිකාවක් දරන අතර අන් අය ඊට ගරු කළ යුතුය. එසේ නොවන කල්හි විවිධ අමනාපකම් ය. බැන අඬගැසීම් ය. මඩ ගහ ගැනිලි ය. පරණ කයි කතන්දර ඉදිරියට ගෙන පැරිණි මිතුරාගේ සියල්ල කුඩු පට්ටම් කර දැමීම් ය. චරිත ඝාතනයන් ය.

           සැබැ මිතුරෝ වෙන්ව නොයන අතර වෙන්ව ගියද මිතුරුකම වෙනුවෙන් බොහෝ දේ සුරක්ෂිත කොට රක්ෂා කරති.  සැබෑ මිතුරෝ ආරක්ෂාකාරීය. අවස්ථානුකූල හැසිරීම් දරති. නම්‍යශීලීය. ඉවසුම් සහිතය.

         එක් එක් අවස්ථාවලදී මිතුරන් අතර උස් පහත්කම් පැවතිය යුතුය. ඒ තනතුර හෝ බලය හෝ නිසා නොව අවස්ථාවේ ස්වභාවය අනුවය. කාඩ් කුට්ටමේ කොළ සේ ම ය.  A  හෙවත් ආසියා වුව තුරුම්පු හතට යටත් විය යුතුය. ඒ ක්‍රීඩාවේ නීතියයි. මිතුරු සබඳතාවල ඇත්තේ නීති නොවන රීතිය. ඒවා නීති නොවන නිසා හිතෙන හිතෙන හැටියට නැවීමට හැකි යයි සිතිම මුලාවකි. මිතුරෝ ආසියා බවටත් විටෙක බූරුවා බවටත් විටක කිසිදු අගයක් නැති දෙකේ කොළයටත් වැටී සිටීම ට සිදුවන බව අවබෝධ කරගත යුතුය. ඒ අවස්ථාවේ නියමයට අනුව ය. එය නියතයකි.

           මිතුරු සන්ථව තුළ අපි මිස මම සිටිය නොහැකි ය. කිසිවක් කරත් නම් ඒ අපි ය. මිහිර පවා අපේ ය. ජය මෙන් ම පරාජය ද අපේ ම ය. මේ බව පිළිගන්නා තාක් මිතුරු සන්ථවයන් සුරැකී පවතිනු ඇත. එසේ නොවන අනම්‍ය සබදතා වානේ කම්බියක් පමණක් වී කොන්ක්‍රීටියානු බැදීමක් පතා සුසුම්ලමින් සිටීමට සිදු වනු ඇත. නම්‍යශීලි සබඳතාවල කොන්ක්‍රීටියානු සිහින ඇතිරිය නොහැකිය.

        එවැනි අනම්‍ය මිතුරකු කාඩ් කුට්ටමේ ද සිටියි. ඔහු කාඩ් පනස් දෙකට අයිති නොවුණත් කාඩ් සහිත පැකැට්ටුවේ අනිවාර්ය ඉඩක් ඔහුටත් තිබේ. ඔහු ක්‍රීඩාවකට භාවිතා නොවේ. ජය හෝ පැරදුමට දායකවීමේ අවස්ථාවක් නැත. අඩුම තරමේ කාඩ් පතකින් පිටතට වත් නොගන්නා තරමි. සැබැවින් ම ඔහු කාඩ් කුට්ටමේ සැරසිල්ලක් පමණී.  මුළු ලොවම ජාති අාගම් භූමි භේදයෙන් තොරව එවැනි කාඩ් මිතුරන් හදුන්වන්නේ JOKER නමිනි.

         මානව සබඳතා අතර එවැනි අනම්‍ය භූමිකා දරන අක්‍රීය මිතුරන් සියල්ලම මට අනුව නම් JOKER ලා ම ය.




                            ඒ වගත් මෙසේ මැ යි -- සෙස්ස පස්සට


          අනුරසිරි හෙට්ටිගේ
          2018.01.09






No comments:

Post a Comment

දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය - නවකතා

තුලන පර්යේෂණ මධ්‍යස්ථානයේ ඇති චන්ද්‍රගුප්ත තේනුවරයන් විසින් නිර්මාණය කළ යුද සමයේ අතුරුදන් වූවන්ගේ ස්මාරක පවුර  හෘදය සාක්ෂියක් නැති ජ...