Monday, January 29, 2018

දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය - නවකතා

තුලන පර්යේෂණ මධ්‍යස්ථානයේ ඇති චන්ද්‍රගුප්ත තේනුවරයන් විසින් නිර්මාණය කළ යුද සමයේ අතුරුදන් වූවන්ගේ ස්මාරක පවුර 

හෘදය සාක්ෂියක් නැති ජාතියක් විසින් තමන්ගේ රටේ පුරවැසියන්ගේ හෘදය සාක්ෂිය නිර්වින්දනය කළ අතීත අත්දැකීම් පෙළහරක් අප හමුවේ විද්‍යමානව තිබේ. ඉන් බහුතරය නිදහසින් පසු යයි අර්ථ ගැන්වෙන අනුකාරක වදනකට නතුව ඇති 1948න් පසු යුගය තුළ සිදු වූ සහ සිදු කරන ලද දෑ ය. එයිනිදු 1971 තරුණ නැගිටීම සහ ඒ ඇසුරේ සිදුවූ තරුණ සංහාරයත් 1988-89 යුගයේදී සිදුවූ තරුණ සංහාරයත් ජාතියක් විසින් සිය ජාතියේ අනාගත වගකීම විනාශ කිරීමේ අවස්ථාවන් දෙකක් ලෙස දැක්වීම අසාධාරණ නොවේ. 1983 සහ ඉන්පසු 2009 දක්වා වූ කාලයට ගැනෙන ජාතියක බලහත්කාරයට නතුවු රටක වාසය කරන ඓතිහාසික උරුමකාරක සුළු ජාතියකට එල්ල කළ සමූල ඝාතනයකට ආසන්න ජන සංහාරය ද පුරවැසියන්ට තමාගේ හෘදය සාක්ෂිය යළි ප්‍රශ්න කිරීමේ අවස්ථාවන් නිෂ්පාදනය කරදුන් බව සිතමි. මේ සංහාරමය උන්මාදය නිසා පොදුවේ ජාතීන්ටත් රටේ ආර්ථිකයටත් සංස්කෘතික අභිමානයක් වී නම් ඊටත් ඇති කරන ලද අපහාසය  සුළුපටු නොවේ. එනිසාම මේ යුගයන් රටේ අඳුරු යුගයන් ලෙස ඉතිහාසය තුළ සටහන්ව තිබේ.

තමන්ගේම හෘදය සාක්ෂිය ප්‍රශ්න කරන තමන්ගේ ම ඉතිහාසයට අයත් අඳුරු ලප එරට කලාකරුවන්ගේ නිර්මාණ නිමිති බවට පත් වෙයි. මන්ද කලාකරුවාගේ සංවේදි සිත මේ අන්ධකාරය වේදනාවක් සේ කොට විදින බැවිනි. අප රටේද අප ඉහතින් දැක්වූ යුග පිළිබද බොහෝ නිර්මාණ බිහි ව තිබේ. නමුත් එම අත්දැකීම තමාට දැනුණ සහ විදනු ලැබූ ආකාරය අනුව එම නිර්මාණ බොහෝමයක් සිංහල තරුණ ගැටුම් අවස්ථා දෙක ඇසුරේ වැඩෙනු පෙනෙයි. සිංහලයා දෙමළාගේ ගැටලුව ගැන යම් කතිකාවක් ඇති කර ගත්තත් දෙමළ සංහාරය පිළිබද දැක්වූ නිර්මාණාත්මක විදීම කොහෙත්ම සතුටුදායක තත්ත්වයක නොපවතීන්නකි. එය වෙනම කතිකා කළ යුතු කාරණයක් බැවින් එය පසුවට තබමි.

අපට ඉහත පූර්විකාවට නිමිත්ත සැපයූ තරංගනී රෙසිකා ප්‍රනාන්දුගේ දේශද්‍රෝහියාගේ නිර්මල හෘදයනම් නවකතාව ගැන දැන් අවධානය යොමු කරවමු. මේ සටහන ඇගේ නිර්මාණය ගැන කතිකාවක් පවත්වන අද දවස (27) එහි පැමිණ අදහසක් දැක්වීමට මට නොමැති අවස්ථාව ආවරණය කරනු වස් කියවීම පිණිස ම ලියන බැවින් සීමා සහිත අදහසක් වෙනුවෙන් සටහන ලඝු කරමි.

මේ නවකතාවේ පසුබිම අප අපගේ හදවතට සමීපව අත්විදි 88=89 අරගලය පසුබිම් කොට නිර්මාණය වි තිබේ. එම යුගයේ සිදු වූ සහ සිදු වන්නට ඇති බොහෝ දෑ ගැන අපි දැන සිටිමු. එම නිසා තරංගනී තමන්ගේ පළමු නවකතාවට එවැනි ප්‍රසිද්ධ සහ ජනප්‍රිය විෂයයක් පාදක කරගැනීම ම යම් තරමක අභියෝගයක් ලෙස සැලකීම වටී. මන්ද කිසියම් අපූර්වත්ව කියවීමක් නොලදහොත් මෙය නිසැකවම නීරස කියවීමක් වනු ඇති බැවිනි.

අපගේ කියවීමට අනුව තරංගනී රෙසිකා හෙවත් තරූ නංගි මේ අභියෝගය තමන් සතු නිසඟ ලේඛක ජවය මොනවට දැක්වීමේ වැඩබිමක් කොට ගෙන ඇති බවයි. තමන්ට ඉතාමත් සමීප ආගමික මිහිරියාවට ඇතුළු වී ඒ තුළට තමන්ගේ කතාව බහා ලීම ම ඇය තමාගේ අභියෝගය ජය ගැනීම වෙනුවෙන් ගත් ඉතා නිර්භීත මෙන්ම සාර්ථක පියවරක් බව අපට දැනෙන්නෙ නවකතාවේ නව ආඛ්‍යානය සකස් කර ගැනීමට ඉන් ලැබී ඇති පිටිවහල අපමණ බැවිනි.

 සැබැවින්ම මේ නවකතාවේ ආකෘතිය නැවුම් ය. ස්වීය ය. කවීත්වයකින් අනූන ය. මෙවැනි ආකෘතියක් උදෙසා සකස් කර ගත යුතු භාෂාත්මක කුසලතාව පවා මහත් අභියෝගයකි.  නිර්මාණකරුවා නිතර උපුටා දක්වන බයිබලයේ පාඨාස්පර්ශය තමාගේ මුළු නිර්මාණය පුරාම ඇතිරීමට ඇය ගන්නා ප්‍රශස්ත වෑයම මේ නවමු ප්‍රයත්නයේ මුඛ්‍ය ශක්තිය බව මම විශ්වාස කරමි. මෑත කාලීන නව නිර්මාණකරුවකු අතින් නිර්මිත ප්‍රශස්තතම භාෂා මාත්සර්යය මා අත්වින්දේ මෙම නිර්මාණය ඇසුරේය කීම අතිශයෝක්තියක් නොවේ.

මෙහි එන චරිත සියල්ලම පාහේ අපේ යුගයේ අප සමඟ හෘදය සංවාදයක නිරත චරිතයෝ ය. මට මගේ අතීතයේ දිනක මෙහි එන ජනතා අරගලයේ තීරණාත්මක මැදිහත් විමක් කරමින් සිට යුගයේ භීෂණ අන්ධකාරයට මැදිව සිය ජීවිතයෙන් අරගල මාවතේ රක්ත වර්ණ ධජයක් නැංවූ ගරු මයිකල් පියතුමාගේ චරිතය වේදිකාව මත රඟ දැක්වීමේ විරල අවස්ථාව ලද නළුවකු නොවන නළුවා වීම මා ලද භාග්‍යයක් බව තරූ නංගි නොදන්නවා වියහැකියි. කපිල කුමාර කාලිංග රචනා කර නිමල් ඒකනායක විසින් අධ්‍යක්ෂණය කරන්නට යෙදුණ උක් දඬු ගින්නවේදිකා නාට්‍යෙය් එම චරිතය රඟ පෑ නොනළුවා මම වෙමි ය. වෙඩි වැදී වේදිකාව මත ඇද නොවැටුණත් උක් ගොවීන්ගේ අරගලය නිරූපිත පෙලපාලිය ඉදිරියෙන්ම ගමන් කළෙමි.  ඒ අතුරු කතාවකි. නමුත් එම කතා පවා අප තුළ යළි නින්නාද කරවන මෙම සුන්දර නවකතාව එම යුගයේ විනාශයට පත් වූ රටක හෘදය සාක්ෂිය මොනවට ඉස්මතු කරවයි.

මයිකල් රුද්‍රිගු පියතුමා

නිර්මාණය තුළ දී දේශද්‍රේහී ගැරහුමට භාජනය වන ආදිත්‍ය නම්  තරුණ මානවකයාගේ ජීවනය අප හදවත් තුළ උත්ථානය ලබන්නේ ඔහු අනෙකකු නොව අප ම ය යන හෘදය සාක්ෂිය අප තුළ මතු කරවමිනි. චරිත විකාශනය මෙන්ම අවස්ථා සිද්ධි නිර්මාණයද තමා විසින් සකස් කර ගන්නා නැවුම් ආඛානයට සාපේක්ෂව ගොඩ නැංවීම කතාකරුවාගේ ප්‍රබන්ධමය හැකියාවට දෙස් දෙයි. මෙහි එන කිසිදු චරිතයක් තමාගේ අපේක්ෂාවෙන් පිටතට ඇදී යාමට කිසිම අවස්ථාවක් ලබා නොදෙයි. කෙටි වැකි, මෙන්ම කෙටි පරිච්ඡේද ඇසුරේ කතාකරුවා තමාගේ පූර්ණ ආදිපත්‍යය නිර්මාණය තුළ අතුරයි. නවකතාවක් නම් එහි කතාන්දරයක් තිබිය යුතුය.. යන හැඟීම නවකතාව විෂයයෙහි ඊ.එම්. ෆොස්ටර් ඇති කළ මතය අද වනවිට එහි වෙනත් අන්තයක් කරා විකාශනය වී ඇති බව යළිදු වතාවක් ඔප්පු කිරීමට මෙම නිර්මාණයේ කතුවරියද උත්සාහ ගෙන ඇති බව අපට වැටහෙන්නේ අවශ්‍ය තැන්හී සිදු විය යුතුයයි සමහර විට අපට සිතෙන පූර්ණ කතාන්දරයකට අවශ්‍ය ඉඩකඩ හිතුවක්කාර අන්දමින් අහුරමින් සමහර පරිච්ඡේද දඩස්ගා අවසන් කරනු හමු විමය. ඒ තරුරසීගේ ආඛ්‍යාන විලාසයයි. එය ප්‍රශ්න කිරීමට අපට ඇති අයිතිය කුමක්ද? වින්දනය කතුවරයාගේ කාර්යය නොවේ. එය පාඨකයාගේ කාර්යයයි. එනිසා කතුවරිය තමාට අවශ්‍ය පමණට පමණක් පාඨකයා සන්තර්පණය කර ඉතා ඉක්මනින් මාර්ගය වෙනස් කර ගනියි. එය දක්ෂ කතාකාරියකගේ නව්‍ය වූ උපක්‍රමයක් බව නොකිව මනා ය.

එසේම මෙහි සමහර පරිච්ඡේදවල වාර්තාමය ස්වරූපයක් ගැබ්ව තිබෙනු  අපට දැනෙයි. ඒ කතුවරිය සතු තොරතුරු සියල්ල මුඛ්‍ය කතා පුවත හා බද්ධ කර තැබිමේ අපේක්ෂාව විසින් ඇති කරනු ලැබූ ප්‍රබන්ධාත්මක අඩුපාඩුවත් බව දැනෙතත් ඒවා අමතක කිරීමේ විසල් ගුණයක් සමස්ත කතා ශරීරය තුළ වැතිරවීමට හැකි වීම කතුවරිය ලැබූ අගනා ජයග්‍රහණයකි. එනිසාම මේ කෘතිය පඨනකය කරනු ලබන්නාට තමාගේ කියවීමට මනා සාධාරණයක් වනු දැනෙන්නට ගනියි. නවකතාවකින් නොහොත් ප්‍රබන්ධ කතාවකින් ඊට වැඩි යමක් අපේක්ෂා කළ යුතුද?

ඉතා කෙටියෙන් වුවත් මේ බවත් සටහන් කළ යුතුම ය. මෙය දේශපාලන නවකතාවකි. යුගයක අන්ධකාර තීරුවක් දෙසට ආලෝක දාරාවත් එල්ල කරන අගනා ලියවිල්ලකි. පර්යේෂණකාමි විද්‍යාර්ථීන්ට යුගයක් පිළිබඳ බොහෝ දේ අවබෝධ කරවන නිබන්ධයකි. මේ සියල්ල අප වෙත පිරිනමමින් කතුවරිය අපගේ හෘදය සාක්ෂිය ප්‍රශ්න කරයි. එය නවකතාවක් වැනි කලා නිර්මාණයකින් සුදු කරනු ලබන විරල මැදිහත්වීමකි. එනිසා ම මෙම නවකතාව පාඨකයාට විරල අත්දැකීම් කැඳවන අගනා නිර්මාණයක් බව දැනෙනු නොඅනුමානය.

මෙම සටහන පරිපූර්ණ සාධාරණයක් තරුරසීගේ කෘතියට නොකරන බව මම දනිමි. නමුත් මට ඉඩක් ඇත්තේ මෙතැනින් නතර විම දක්වා පමණි. එනිසා මට මේ උපුටනය දක්වමින් සමු ගන්නට අවසරය දෙන්න.

‘‘ අනේ, ඔබ මාගේ මවුගේ පියයුරුවලින් කිරි බීවා වූ මාගේ සොහොයුරා මෙන් වී නම් මම කැමැත්තෙමි. එවිට පිටතදී ඔබ මට හමු වූ කල ඔබ මා සිප ගත්තත් කිසිවකු මා හෙළා නොදක්නේ ය...‘‘ ප්‍රේම ගී 8. 1
දේශද්‍රෝහියාගේ නිර්මල හදවත - පිට 58

තරු.. ඉතිං මට ඔබේ ප්‍රේම ගී උපුටනයේ මා කැමති සංශෝධනයකට අවසර දෙන්න.. එහි / සොහොයුරා// යන්නට /සොහොයුරිය// ආදේශ කරන්නයි ඔබෙන් ඉල්ලමින් මම නවතිමි.

අනුරසිරි හෙට්ටිගේ
2018.01.26
Description: https://ssl.gstatic.com/ui/v1/icons/mail/images/cleardot.gif


Sunday, January 14, 2018

එක පල් දල වන් දිගැසි





                    හෙට්ටි මි
             සිිහිගිරි ආ මි
             බෙයද පා අමුනමි
             දකිමි
             විඳිමි
             හදුනමි
             සියෝ ලිවු දෑ විමසමි

           ..........................

            'මස්ඉඹුල' ලියු නිසා

            නොලීමි...




            අනුරසිරි හෙට්ටිගේ

Saturday, January 13, 2018

අශූචි යනු : ශරීරය ම වන්නේ් ය චීවරධාරියා යනු : ශ්‍රමණයෝ වන්නාහ.



                අතීතයේ දී මිනිසා සිය ශරීරකෘතිය පිණිස විශේෂ ස්ථාන භාවිතා කළ බවක් හඳුණා ගත නොහැකි ය. නමුත් බොදු උරුමය සහිත ආසියානු රටවල පුරාවස්තු කැණීම්වල දී වැසිකිළි කැසිකිළි ස්ථාන හඳුණා ගැනීමට හැකි වී තිබෙන අතර ඒවා භික්ඛු සංඝයාගේ භාවිතය පිණිස ම යොදා ගත් ස්ථාන බව තහවුරු වී තිබේ. එසේ නොවුණ සාමාන්‍ය ජනයා සිය අවශ්‍යතාව 'බැද්දට' වැදී සිදු කර ගන්නට ඇතැයි උපකල්පනය කළ හැක්කේ අද පවා සමහර ගැමියන් එම අවශ්‍යතාව 'බැද්දට' වැදී සපුරා ගන්නා බැවිනි.

      විහාරාරාම ඇසුරේ වැසිකිළි තැනෙන්නට ඇත්තේ භික්ෂු ගණයා මිනිස් ඇසුරෙන් වෙන්කොට තමන්ගේ ම චර්යා පද්ධතියක් යටතේ පුරුදු පුහුණු කළ ජීවිතයකට ඇබ්බැහි වී සිටීම නිසාය යි සිතිය හැකිය. ඒ කෙසේ වෙතත් පළමු මිනිස් උප්පත්තිය කෙසේ කොතැන සිදු වූවත් එදා සිට මිනිසාට වැසිකිළි කැසිකිළි අවශ්‍යතාව පැන නගින්නට ඇති බව තර්කයෙන් තොරව ස්ථාවර වෙයි.

      මේ සටහන අශූචි පිළිබඳ සටහනකැයි දැනටත් ඔබ තීන්දු කර ඇතුවාට සැකයක් නැත. නමුත් මෙය හුදු අශූචි කතාවක් පමණක් ම නොවේ. එසේ නොවන්නේ ද නොවේ. ඒ මන්ද යත් :මෙය භික්ෂූන් පිළිබඳ කතාවක් ද වන හෙයිනි.
      ඈත අතීතයක සිට ම භික්ෂූන්හට ශරීරකෘතිය පිණිස වැසිකිළි කැසිකිළි ආදිය තනවා දී බ්‍රහ්ම විහරණයට පුරුදු පුහුණු කොට පරලෝ වැඩ පිණිස ගිහි ඇසුරෙන් දුරස් කොට තබා ගත්ත ද අවසර කල්හි ඔවුහු ගිහි වෘතය ම අනුගමනය කළ බවට ඉතිහාසය සාක්කි දරයි. 
          කැලණිතිස්ස රජ දවස රජ බිසවට රහස් ආදර හසුන් පතක් රැගෙන ආ ශ්‍රමණයා ද කර ඇත්තේ බෞද්ධ දහමින් මනා ශිික්ෂණයක් ලත් රජතුමාට පවා ඉවසා ගත නොහැකි අන්දමේ වරදකි. එනිසා ම රජතුමා පංචානන්තරිය කර්මය සපුරා ගත්තේ ය. ඒ නිසාම රජතුමා මරණින් පසු අපාගත වන්නට ඇත. ශික්ෂුවක ඝාතනය කිරීම එතරම් බල සම්පන්න වරදකි.
          ස්වාමිපුරුෂාභිනන්දනය යහමින් ඉටු කරගත්තේ යයි ඉතිහාසය දක්වා සිටින අනුලා නම් බිසවගේ සැමි පෙරහැරේ එක් සැමියකු ලෙස වටුක නම් ශ්‍රමණයා සිටි බව ඒ ඉතිහාසය ම දක්වා සිටියි. කොතෙක් පහසුකම් ලා ශ්‍රමණාභිරුචිය වැඩීමට තැත් කලත් අවසර කල් රහස් තැන තමන්ගේ ගිහි රූපයට අවතීර්ණ වීමට පසුබට නොවන ශ්‍රමණයෝ එකල්හි ද සිටියෝ ය. අදත් සිටිති. වෙනසක් වී නම් ඒ එදා අල්පය මෙදා පරිපූර්ණත්වයට පත්ව තිබීමයි.
          මේ තත්ත්වය නිසා ශ්‍රමණයා යන්නට පර්යාය පදයක් ලෙස 'චීවරධාරියා' යන්න ආරෝපණය වී තිබේ. එය මාධ්‍යය ඔස්සේ සමාජගත වූ නව භාෂාත්මක යෙදුමකි. එය යොදා ගන්නේ භික්ෂුවක විසින් ගිිහි නීති පද්ධතිය යටතේ අපරාධයක් හෝ අපචාරයක් හෝ ලෙස අර්ථ ගැන්වෙන වැරැද්දක් කළ විට එය වාර්තා කිරීමේ දී ය. මේ චීවරධාරීහු හැඳුනුම්පත් ලත් භික්ෂූහු වෙත්. නමුත් සමාජය එය පිළිගැනීම ඇති අකමැත්ත දන්නා මාධ්‍ය උස්තාද්ලා චීවරධාරියා නම් නව චරිතයක් බිහි කරති.

        පොදු ජනයා නොවිඳි සුඛ වින්දනය කරමින් වුව අල්පේච්ඡ ජීවිතයකට නැඹුරු කර සිටි කාලයේ සිට බහුභාණ්ඩීය නූතන සමාජ ක්‍රියාවලිය දක්වා විකාශනය වූ කාලය පුරා ඔවුහු උගන්නෝ තුන් සුතුර ය.  නැතහොත් පරණ විනය ම ය. පරණ සූත්‍රය ය. පරණ අභිධර්මය ම ය. එනිසා ම ඔවුහු අශූචි යනු කුමක්දැයි අර්ථානුබද්ධ විසන්ධි මගෙහි පිහිටුවා වුව දන්නෝය. නාම ප්‍රකරණයට අදාළ කුදු මහත් විවරණයන් දන්නෝ ය.  බලන්න සංඝයා වනපොත් කළ මේ බුදු වදන් : 
          'ආනන්ද ය. මේ ශාසනයෙහි මහණ තෙමෙ පතුලෙන් උඩ, කෙස් මතුයෙහි යට, සම කෙළවර කොට ඇති මේ ශරීරය නොයෙකුත් අශූචියෙන් පිරුණේ යයි ප්‍රත්‍යාවේක්ෂා කෙරේද?
           මේ ශරීරයෙහි සේක. ලොම් ය, නිය ය, සම ය, මස් ය, නහර ය, ඇට ය, ඇට මිදුලු ය, වකුගඩු ය, හෘදය මාංසය ය, අක්මාව ය, දලබුව ය, බඩදිය ය,  පපුව ය, බඩ වැල ය, අතුනු බහන් ය, අම අහර ය, මල ය, පිත ය, සෙම ය, සැරව ය, ලේ ය, ඩහදිය ය, මේද ය, කඳුළු ය, වුරුණු තෙල ය, කෙළ ය, සොටු ය, සඳ මිදුළු ය, මූත්‍ර ය යන මොවුහු ඇත්තා හ.'

             


           මෙවන් ශරීරයක් කැටුව ගිහි ජීවිතය දරන්නාට නැති කාය හා මනස් සංවරයක් ඇත්තාට භික්ෂුව යයි වහරති. එනිසා ඔවුහු ගිහි ජීවනයට අදාළව වැරදිි යයි අර්ථ ගැන්වෙන කිසිවක් නොකරන්නට දිවුරුම් දී සිටිති. ඒ දිවුරුම බිඳ දැමීම වනාහි ඔහු භික්ෂුවක් විසින් පුරන ලද්දා වූ දහම් විනයට පමණක් නොව හතර වරිගයාම නිවන් දකින පුණ්‍ය කර්මයක චිත්තප්‍රීතියකින් සිටින මවු-පිය ඥාති වරිගයාට කරන අගෞරවයක් ලෙසද අර්ථ ගැන්වෙයි.
       අතීතයේ මහණවරය හා සහසම්බන්ධව තිබූ කොන්දේසි හා චාරිත්‍ර-වාරිත්‍රාදිය අදට වලංගු නොවන බව පැහැදිලි ය. නූතන සමාජ ආර්ථික හා දේශපාලන විකෘතිය තුළ ආගමික සංස්ථාවකට පවා ඊට අනුගතව තමන්ගේ අතීත ස්වාධීනත්වය රැක ගැනීම අභියෝගයක් බව පිළිගත යුතු ම ය. එනිසා ම අද වනවිට මවු කිරෙන් අත්හැරි සැටියේම මහණවරය ලැබෙන අරුම පුදුම බුදු දහමක් බෞද්ධ රටවල් ඇසුරේ ක්‍රියාත්මක වෙමින් තිබේ. එයිනිදු මියන්මාරය සහ ලංකාව අවිහිංසක ධර්මයක් ලේපිපාසිත ඇදහිල්ලක් බවට පත් කරගත් අත්දැකීම් ලෙස ලොවට දක්වා සිටිති.
           වයසින් මෝරා නොගිිය මෙන් ම පන්සිල් පද පහට අදාළ නිශ්චිත තේරුම පවා නොවැටහෙන ළදරුවන් භික්ෂූන් ලෙස රූපාන්තරණය කිරීම නෙළුමක් බලෙන් පුප්පවනු ලබන්නට සමාන බව නොරහසකි. නමුත් පන්සල් ආරාම ඇසුරේ විසඳා ගත යුතු ශාසනික නොවන බාහිර කාරණා එම තත්ත්වය නිර්මාණය කරමින් තිබේ. පන්සල් ඇසුරේ ක්‍රියාත්මක කුල ක්‍රමය ඒ සදහා මුල් වන බලවත්ම සාධකයකි. 
          පවුලේ පොල්ම:ක්කාර උරුමය පන්සලේ හතර මායිමට අදාළ ය.  පන්සල් පෙට්ටමේ රැස්වන ධනය ශාසනයට නොව පවුලේ අභිවෘද්ධිය  පිණිස ම වන බැවින් පවුල ඇතුළත් කුලය ද නඩත්තු කෙරේ. එනිසා පවුලේ  පොල්ම:ක්කාර උරුමය පිණිස කුල දරුවන් (කුලය මුල් කොට) පැවිදි කළ යුතුය. දරුවාගේ කැමැත්ත යනු කිසිදු වැදගත්කමක් නැති ගිවිසුමක් බැවින් කිසිවකු කැමැත්තක් නොවිමසති. ඒ සඳහා ඔවුහු කැමැත්තේ අර්ථයවත් නොදන්නා බාලයන් මහණවරයට කැඳවා ගනිති. 

          පසුව චීවරධාරීන් වන්නේ මෙවන් බාලයන් අතරින් ගිහි වෘතයෙහි මිහිර අත්හැර නොගත් බාල විය පසු කරන ලද ගැටවරයින් විසිනි. 

               



       බුදු දහම ව්‍යවස්ථාවෙන් රාජ්‍ය ආගම බවට පත් කර ඇති සීමිත රටවල් අතරට ගැනෙන්නකි ලංකාව. ඒ නිසා ම මෙරට භික්ෂු සංස්ථාව දේශපාලන අධිකාරිත්වයක් ආරෝපණය කර සිටින බැවින් තමන්ගේ බල කඳවුරු වන නිකාය යටතේ මහණවරයන් අඛණ්ඩව පොම්ප කිරීම කළ යුතු ම ය. මෙය බෞද්ධ ඉගැන්වීම්වල සාරය සිය ආත්ම විමුක්තියේ පහුරක් කර ගැනීමේ අරමුණින් තරණය කළ යුතු ගංගාවක්, වේල්ලක් බැඳ හරස් කර ජලාශයක් තනා ගැනීමක් බඳු විකෘතියකි. ඒ ජලාශය ගිහි අපේක්ෂාවන්ට සමපාතව ඇත්තේ බැවින් කිසිදු ග්‍රාමවාසී ශ්‍රමණයකුට බුදු දහමේ සාරය අත්පත් කර ගැනීමේ උවමනාවක් හෝ අවස්ථාවක් හෝ නොලැබී යයි.

         මේ සිදු වෙමින් තිබෙන්නේ එයයි. එනිසා ඒ අතරින් බොහෝ දෙනා චීවරධාරියා යන පර්යාය පදයට සුදුසුකම් ලබති. නමුත් භික්ෂු හැඳුනුම්පත දරති. නූතන තරුණ භික්ෂුන්ගේ ජීවනය අරුමැසි ය. අධ්‍යාපනික අවස්ථාව කලහකාරි මාවතක ය. බහු භාණ්ඩීය ගිහි අපේක්ෂා සරි ය. ගිහි ජීවනයකට අදාළ සකළ සබ්බ මනාව ම පමණ ඉක්මවා වින්දනය කරති.  ස්මාර්ට් ජංගම දුරකතන එකකට වඩා භාවිතා කරති. කොටින් ම කිවහොත් මේ උදවිය සංඝනාමධාරී ගණින්නාන්සේලා ය. 
          ගණින්නාන්සේලාගේ ජීවනය අපූරුය. හිස නිකට රෝම ගැවසී ය. බිරිඳ පන්සලේ ය. සාධු පියා භූමිකාවට අවසර ය. මේ සියල්ල අතරේ සතර පේරුවේ මතක වස්ත්‍ර පූජාව නිසා වැදුම් පිදුම් ද ලබති. ගිහියන් අත් නොවිඳින අන්දමේ සුඛ විහරණය ම ලබති. ඛාජ්‍ය බෝජ්‍ය ඉස්තරම් ය. ස්මාර්ට් ජංගම දුරකථනය ලෝකයේ සියලු සුඛෝපභෝගී අවශ්‍යතා පිළිබඳ තෘෂ්ණාව වඩවයි. මේ සියල්ලම ඉටු කිරීමේ කරුමය දරන පේරුවේ දායකකාරකාදීන් වෙනුවෙන් අවසාන මතක බණ යුතුකම අමතක නොකරති. ඉතිං මොවුහු චීවරධාරීන් නොවන්නොහුද?


     මේ සියල්ල අතරේ මේ බුදුන්ගේ දේශය යයි ඔවුහු කියති. බුදුන්ගේ උප්පතියට නව උප්පැන්න සහතික ලිවීමේ තැත දරති. ලුම්බිනිය කොදෙව්ව තුළ ස්ථාන ගත කිරීමට පාරම් බාති. මෙවැනි ප්‍රවාද අැසුරේ රටේ ඉතිහාසය පවා විකෘති කිරීමේ විකෘති මනසකින් පසු වෙති. අනෝමා ව මේ දූපතයේ ය. ජේතවනය, උපවත්තනය මුහුද පැන මෙහි ඇවිදින් ය. කපුටු බෝ ගස ද ඇසතු බෝ වරම් ලබති. නමුදු මිනිස් වග තුට්ටුවකට නොවටී. උන් පවුකාර ආත්ම ලැබුවෝ ය. ආත්ම විමුක්තිය පතා විහාරාරාම ඇසුරේ භික්ෂුන්ගේ සුඛ උපයෝගිතාව වෙනුවෙන් සියල්ල කඹුරාලිය යුතුය. අහෝ..! සිද්ධාර්ථ නම් උතුම් මිනිසා තමාගේ මුළු ජීවිතයම කැප කොට අවබෝධ කරගත් පරම සත්‍යයය..! එය ධර්ම ග්‍රන්ථ තුළය. ඒවා පන්සල් අල්මාරි තුළ යතුරු ලා ය. උසාවියේ අපරාධකරුවන් බොරුවක් නොකියන බවට දිවුරුම්දීමකට එහා එහි බලය නොපවතී. ගිහියා ධර්මයට බය ය. භික්වෂු ධර්මය තමාගේ සුඛය වෙනුවෙන් දිගට හරහට නවති. නව අර්ථ සම්පාදනය කරති. නමුදු බාල දරුවාට පවා කාමේසු ම්ච්ඡාචාරය අකැප බව ම කියති. සුරාමේරය මච්ඡපමා දට්ඨානා බව පෙන්වති.
         මේ අප රටේ නූතන භික්ෂු පරපුරේ බහුතරයකගේ භාවිතයෙහි ස්වභාවයයි. නමුදු ඇදහිල්ලකට මැදිව උතුම් ජීවන දර්ශනයක් මඟ හැර සිටින ගිහි දායකයා සියලු දුක් තමන් ම වළඳමින් සංඝයාට පරම ජීවන සුඛය ම සාදති. රටේ සංස්කෘතික ප්‍රාග්ධනය ගොනුව ඇත්තේද මේ ඇදහිලිකාරක ආයතන ව්‍යුහය තුළය. එනිසා කලාව ඈ සංස්කෘතික නිෂ්පාදන ප්‍රාග්ධන ඌණතාවකින් පෙළී අනිිවාර්ය විකාශනය අඩපන කරගෙන සිටී. නමුත් මේ බුදුන්ගේ දේශය යි. ගිහියා පිළිවෙතින් ඒ වෙනුවෙන් සැදී පැහැදි සිටිය යුතුය. සංඝයා අත්හළ යුතු සියලු දෑ දොතින් ම නොව සකල ශරීරයෙන් ම වැළඳ ගෙන සිටීම ඉවසා සිටිය යුතුය.

             මෙවන් පසුබිමක් යටතේ පුවත්පත්වල චීවරධාරියකු හමු වීම සාධාරණය. මන්ද පන්සල්වල තවදුරටත් සඝ ගණයා නොමැති බැවිනි. ඔවුහු සිටිත් නම් ඒ වනවාසී සීමිතයක් ලෙස ය. අන් සියල්ලෝ සිවුරු  හැඳි ගිහියන් හෙවත් චීවරධාරීහූ ම ය.



               ඒ වගත් මෙසේ ම ය -- සෙස්ස පස්සට

             අනුරසිරි හෙට්ටිගේ
             2018.01.13

Thursday, January 11, 2018

තේක්ක මල්





තේක්ක ගොම්මනේ
වැට දිගට
එක පෙළට
බුදු පුදට
මල් නෙළන
උවැසියන්ගේ පා සිඹින
සෝපාක කුලයේ 
මල්..

අනුරසිරි හෙට්ටිගේ




Tuesday, January 9, 2018

මිතුරු සන්ථවය සහ බූරුවා කුට්ටම





ජීවීන් සිටින්නේ අප ජීවත් වන පෘතුවි ගෝලයේ පමණකැයි පරම විශ්වාසයක් පැවතියේ ය. අද වනවිට ඒ විශ්වාසය යළි විමසීමකට ලක් ව තිබේ. මන්ද යත් අප හදුනා ගත් විශ්වයේ සීමාවන් වඩා පුළුල් බවත් ජීවීන් සිටින ග්‍රහලෝක තවත් තිබෙන්නට ඇති බව හෙළිදරව් කෙරෙමින් පවතින බැවිනි. එය එසේ වෙත් නම් ග්‍රහ ලෝක අතර පෘතුවි හුදෙකලාව පහව යනු ඇත. නව අභියෝග මුණ ගැසෙනු ඇත. සිනමාවට පමණක් සංකල්පනය වූ ග්‍රහ ලෝක අතර වන යුද්ධ star wars සැබෑවක් වනු ඇත.

       ග්‍රහ ලෝක යුද්ධ කෙසේ වෙතත් පෘතුවි හුදෙකලාව පහවී යාම හොඳය. රට රටවල් ලෙස ගොඩ බිම් දේශ සීමා හෝ මුහුදු  සීමා හෝ සහිතව බෙදී සිටින මිනිස් ප්‍රජාවක් පවත්වා ගන්නා ව්‍යාජ අන්තර් සබදතාව ගැන සිහි කරද්දී වෙනත් ග්‍රහ ලෝකවාසී ජනතාවක් සමඟ කෙබඳු අන්දමේ සබඳතාවක් පවත්වා ගන්නේ ද යන්න ගැන මා තුළ විචිකිච්චාවක් හට ගනියි.

      ජාති, ආගම්, භාෂා සහ දේශ සීමා බේද රහිතව ‘ලෝකය තනි යායකි‘ යන සිතුවිල්ලෙන් වෙළුන මිනිස් සමාජයක් පිළිබද සිහිනයක් මම දකිමි. ඒ හීනය තුළ එකිනෙකා අතර පවතින සබඳතාව හෘදයාංගම එකකි. එහි සැඟවුණ ස්ථාන රහිත විවෘත එකකි. සිනහව අවංක ය. සුබ පැතුම් නිර්වාජ්‍යය. එහෙත් ඒ සිහිනයෙන් වෙලී සිටිය නොහැකි ය. ජීවිතය සජීවි ය. එනිසා මම අවදි වෙමි.  අවදි වූ පසු අප හමුවේ සිටින්නෝ කවරහු ද?

      මිනිස් සමාජයේ පවත්නා සබඳතා කුඩා දරුවකු අවකාශයට මුදා හරින සබන් බුබුළු වැනි ය. ඒවා බැලූ බැල්මට සුන්දර ය. වර්ණවත් ය. එකිනෙක වෙලී දාමයක් ලෙස හැසිරෙනු පෙනෙයි. එහෙත් පුංචි සෙලවීමකින් පවා බිඳී යයි. මිත්‍රත්වය එවැනි අස්ථාවර සුන්දරත්වයක් ද? 

      තමාගේම ප්‍රිස්මයකින් හැමෙකකුම ලොව බලන නිසා අනෙකා යනු තමාගේ අවබෝධ සීමාවේ සිර ව සිටින්නකු පමණකි. මිනිසා තුළ ස්වභාවයයෙන් ම පිහිටන සුවිශේෂ අනන්‍යතා පවා තමාගේ ප්‍රිස්මීය රූපය තුළ බොඳ කර හරියි. අනෙකාගේ දෑසේ ප්‍රීතිය වෙනුවට ශෝකය රැඳී තිබෙනු අපේක්ෂා කරයි. උගත්කම යනු සහතිකධාරී භෞතිකයක් බව දැන දැන ම සත්‍යය පිළිගැනීමට මැලි වෙයි.

      මේ මිනිසාගේ හැටියක් ය. එය මිතුරුකමට ආරෝපණය කළ කල්හි තත්ත්වය වටහා ගැනීම පහසු ය. ‘මිතුරු තොමෝ දුක සැප දෙකෙහිම පැවතී
 බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවිති‘ යි කීවෝ සැළලිහිණි සඳෙස් කතුවර සිරි රහල් හිමියෝ ය.
ඒ සිය අපේක්ෂාව වෙනුවෙන් දුෂ්කර පියඹා යාමකට මඟට බසින සැළලිහිණි මිතුරා අරභයා ය. ගෞතම බුදුන් පසුපසින් විහාරයට ගිය නන්ද කුමාරයාට සිය ගිහි සුඛය අත්හැර දැමීමට සිදු වූයේ ද මිතුරුකම කෙරෙහි දැක්වූ විශ්වාසය නිසා ය. කුමාරදාස රජතුමාට සිය දිවි හානි කර ගැනීමට මුල් වූයේ ද සිය ප්‍රාණ සමාන මිත්‍රරා වූ කිවියර කාලිදාසට නොකල්හි අත් වූ මරණය ඉවසා ගත නොහී ය. 

      ඒ මිත්‍රත්වයේ දිග පලල කුමක්දැ යි අපට වටහා දෙන අතීත උදාහරණයෝ ය. මෙහිදි අපට අමතක කළ නොහැකි අමනකම්ද  මිත්‍රත්වය නිසා සිදුවනු ඒ ඉතිහාසයම දක්වා සිටියි. ‘සුබ‘ නම් දොරටුපාලයා සහ තමාගේ රුව සමාන වීමේ ප්‍රහර්ෂයෙන් වෙළුන යස නම් රජ සිය සිහසුන ඔහුට තාවකාලිකව පිරිනැමූ බරපතළ විහිළුවද අමතක කළ නොහැකි ය. ඉන් සිදු වූයේ මිත්‍රත්වය පමණක් නොව රජකමත් නැතිව යාම ය. මිත්‍රත්වය ලාභාලාභ ගිණුමක බහා අවසාන ශේෂ පත්‍රය සකස් කරන අංක ක්‍රීඩාවක් නොවේ. 

      මිත්‍රත්වය වෙනුවෙන් දිවි දීමට පවා ඉදිරිපත් වූ මිතුරුකම් ගැන දන්නා අපට අද අත් විඳින ව්‍යාජය හඳුනා ගැනීමේ අපහසුතාවක් තිබෙන්නට බැරිය. එම සබඳතා ආරෝහණයට මෙන් ම අවරෝහණයට ද ගමන් කරන අන්දමේ ජාලගත කිසිවකි. එය අස්පර්ශනීය වුවත් වින්දනීය පාර්ශ්වයෙන් සංවේදනා සහිත ය. ප්‍රීතිය මෙන් ම දුක ද එහි ගැබ්ව තිබේ. ප්‍රතිඋපකාරිත ජීවන හුස්මකි. කොන්දේසි විරහිත දිවුරුමකි. මිත්‍රත්වය වෙනුවෙන් සිය දිවි පුද කිරීමේ ශක්තිය ලැබෙන්නෙ එහෙයිනි.




       අතිතය පීරා වර්තමානයට එද්දී අද තරම් මිතුරු සන්ථව එදා තිබුණාදැ යි දැනී නැගෙන විස්මය දෑස් මත රැදෙයි. පෑනේ මිතුරෝ ය. වැරදුණ ඇමතුමට ද මිතුරෝ ය. පාසල් පමණක් නොව වෘත්තීය සබඳතා අතරේද මිතුරු සන්ථව ය. බස් දුම්රිය මගී සන්ථවයෝ ය. ඇවිදින මංතීරු ය, මුහුණු පොත ය, ටුවිටර් ය, වට්ස් ඇප් ය, වීඩියෝ කෝල් ය, සාහිත්‍ය ඈ කලාකාමී මිතුරු දම් ය. අතන ය. මෙතන ය. එපමණක් ද? සෝම පානය පිණිස ම කැප වුණු මිතු දම් ය.

        එකී මෙකී නොකී මිතුරු දම් ජාලයක රැදී වුව මිනිසා සිටින්නේ මරණීය හුදෙකලාවකය. ඛාජ්‍ය බෝජ්‍ය කතා ලතා නිම වූ සැණින් එකිනෙකා තනි තනිව සිය හුදෙකලාවේ තනිවෙයි. එය උදාහරණ වන්නේ නූතන ලෝක සමාජයේ අන්තර් රාජ්‍ය සබඳතා ජාලයට ය. ඒ සබඳතා සියල්ල ව්‍යාජ ය. සීමා සහිත ය. කොන්දේසි සහ රට රටවල ජාතික අපේක්ෂාවට යටත් ව ය. මිතුරු දම් එසේ ම ය. ස්වයං ප්‍රිස්මීය ආස්ථානයක සිට විවරණය කෙරෙන මානුෂික සබඳතාවකින් එහා මේ කිසිදු බැඳීමක් ගමන් නොකරයි. වින්දනය කරන ඕනෑම මිහිරක් ක්ෂණයකින් අවසන් කිරීමේ සමත් ය.

       මෙවැනි සබඳතා සහ කාඩ් කුට්ටම (බූරුවා කුට්ටම - playing cards) අතර අවියෝජනීය බැදීමක් ඇති බවක් මට දැනේ. කොළ පනස් දෙකකින් සමන්විත කාඩ් කුට්ටම විවිධ සූදු ක්‍රීඩා වෙනුවෙන් භාවිතා කරයි. ඒ සදහා එකට බැදුණ කාඩ් පනස් දෙකක් ඇත. ඒවා මිතුරෝ ය. එකම ජාලයකට බැඳී සිටිති.

         අංක 2 සිට 10 දක්වාත් J Q K A ලෙස අක්ෂර සහිත කාඩ් හතරකුත් රුවිත, හාරත, කලාබර සහ ස්කෝප්ප ලෙසින් නාමකරණය වූ සංකේත ලෙස මේ හැම ඉලක්කමක් සහ අක්ෂරයක්ම හතර වර්ගයක් ලෙස එකට බැඳී සිටිති. විවිධ වෙනස්කම් ඇතත් මේ කාඩ් පනස් හතරම බැදි සිටින්නේ අනෙකාගේ විනෝදය සම්පාදනය කිරීමේ වගකීම ය. එසේ වුවත් මේ හැම කාඩ් එකක්ම එක් එක් ක්‍රීඩාවලදි තමන්ට නියම වන භූමිකා පමණක් දරති. සාමාන්‍ය අගයේදී Q, K සහ Aට යටත් වන J තුන්සිය හතරේදී රජ තනතුර දරයි. J තුනක් එකතු වූ විට මුළු ක්‍රිඩාවේම ජය ලබා ගැනීමට තරම් ප්‍රබල වෙයි. නමුත් ඔමි ක්‍රීඩාවේදී තුරුම්පු 7 ටත් කැපී යයි. J කාඩ් කුට්ටම තුළ විවිධ භූමිකා දැරුවත් ලංකාව තුළ දි එය ‘බූරුවා‘ ය. බූරුවා යන අර්ථයට අදාළ සියල්ල එම කාඩ් එකට හිමි ය. එනිසා කාඩ් කුට්ටමේ කුමන තරාතිරමක් දැරුවත් සමාජය විසින් ඔවුන්ගේම සහතික නිකුත් කරන බව අපට අමතක කළ හැකි නොවේ. මන්ද පුද්ගලයාට ඉහළින් සමාජය බලවත්ව සිටින බැවිනි.

         මේ සියල්ල හෙළිදරව් කරන්නේ මිනිස් සබදතාවල හැටි ය. කිිසිවකු නියත ස්ථානයක වැජඹීම මිතුරු දමක් ලෙස අර්ථ ගැන්විය නොහැකිය. හැමකෙකුම ඒ ඒ අවස්ථාවලදී අවස්ථානූකූල භූමිකාවක් දරන අතර අන් අය ඊට ගරු කළ යුතුය. එසේ නොවන කල්හි විවිධ අමනාපකම් ය. බැන අඬගැසීම් ය. මඩ ගහ ගැනිලි ය. පරණ කයි කතන්දර ඉදිරියට ගෙන පැරිණි මිතුරාගේ සියල්ල කුඩු පට්ටම් කර දැමීම් ය. චරිත ඝාතනයන් ය.

           සැබැ මිතුරෝ වෙන්ව නොයන අතර වෙන්ව ගියද මිතුරුකම වෙනුවෙන් බොහෝ දේ සුරක්ෂිත කොට රක්ෂා කරති.  සැබෑ මිතුරෝ ආරක්ෂාකාරීය. අවස්ථානුකූල හැසිරීම් දරති. නම්‍යශීලීය. ඉවසුම් සහිතය.

         එක් එක් අවස්ථාවලදී මිතුරන් අතර උස් පහත්කම් පැවතිය යුතුය. ඒ තනතුර හෝ බලය හෝ නිසා නොව අවස්ථාවේ ස්වභාවය අනුවය. කාඩ් කුට්ටමේ කොළ සේ ම ය.  A  හෙවත් ආසියා වුව තුරුම්පු හතට යටත් විය යුතුය. ඒ ක්‍රීඩාවේ නීතියයි. මිතුරු සබඳතාවල ඇත්තේ නීති නොවන රීතිය. ඒවා නීති නොවන නිසා හිතෙන හිතෙන හැටියට නැවීමට හැකි යයි සිතිම මුලාවකි. මිතුරෝ ආසියා බවටත් විටෙක බූරුවා බවටත් විටක කිසිදු අගයක් නැති දෙකේ කොළයටත් වැටී සිටීම ට සිදුවන බව අවබෝධ කරගත යුතුය. ඒ අවස්ථාවේ නියමයට අනුව ය. එය නියතයකි.

           මිතුරු සන්ථව තුළ අපි මිස මම සිටිය නොහැකි ය. කිසිවක් කරත් නම් ඒ අපි ය. මිහිර පවා අපේ ය. ජය මෙන් ම පරාජය ද අපේ ම ය. මේ බව පිළිගන්නා තාක් මිතුරු සන්ථවයන් සුරැකී පවතිනු ඇත. එසේ නොවන අනම්‍ය සබදතා වානේ කම්බියක් පමණක් වී කොන්ක්‍රීටියානු බැදීමක් පතා සුසුම්ලමින් සිටීමට සිදු වනු ඇත. නම්‍යශීලි සබඳතාවල කොන්ක්‍රීටියානු සිහින ඇතිරිය නොහැකිය.

        එවැනි අනම්‍ය මිතුරකු කාඩ් කුට්ටමේ ද සිටියි. ඔහු කාඩ් පනස් දෙකට අයිති නොවුණත් කාඩ් සහිත පැකැට්ටුවේ අනිවාර්ය ඉඩක් ඔහුටත් තිබේ. ඔහු ක්‍රීඩාවකට භාවිතා නොවේ. ජය හෝ පැරදුමට දායකවීමේ අවස්ථාවක් නැත. අඩුම තරමේ කාඩ් පතකින් පිටතට වත් නොගන්නා තරමි. සැබැවින් ම ඔහු කාඩ් කුට්ටමේ සැරසිල්ලක් පමණී.  මුළු ලොවම ජාති අාගම් භූමි භේදයෙන් තොරව එවැනි කාඩ් මිතුරන් හදුන්වන්නේ JOKER නමිනි.

         මානව සබඳතා අතර එවැනි අනම්‍ය භූමිකා දරන අක්‍රීය මිතුරන් සියල්ලම මට අනුව නම් JOKER ලා ම ය.




                            ඒ වගත් මෙසේ මැ යි -- සෙස්ස පස්සට


          අනුරසිරි හෙට්ටිගේ
          2018.01.09






සුබ උපන් දිනයක් අක්කේ !


කොළඹ අහසේ එදා වාගේම අදත් සඳ තරු දිලෙනවා
සිහින ඡායා විලස විසිරී හදේ තැන තැන රැ‍ඳෙනවා
මතක සිත්තම අවදි වීලා ඇස‘ග කඳුළක් දිලෙනවා
නුඹ නමින් පිපි මලක් තවමත් දෑස අද්දර පිපෙනවා

සන්ත බස්තියමට වඩා උස නුඹේ දුක් ගිනි දැනෙනවා
ඉවස ගන්නට බැරිම තැනකදි මාත් රහසින් අඬනවා
රැගෙන යන්ට කිසිත් නැති බව උගත් දහමත් කියනවා
ඉතිං ඉවසනු.! ජීවිතය ගෙන දුරක් යන්නට තියෙනවා

විඳින්නට නොව දරන්නට ලැබූ ජීවිතය ගෙන ගිය දුරක්
පාර අමතක නොවී ආපහු ආ ගමන නැහැ කිසි බරක්
පාළුවක් දැනුනොතින් අක්කේ වරෙන් නොහිතා දෙවාරක්
මටත් නැති දොර නුඹට ඇරෙනවා සත්තමයි එහි නැහැ සැකක්

හැට හතක් වයසක් නොවෙයි බං තව ටිකක් ඉන්නට ඇතේ
නුඹට පෙර යන ගමන යන්නට මටත් අවසරයක් ඇතේ
කවුරු කොහොමින් ගියත් අක්කේ අපේ සෙනෙහස තව රැඳේ
රැගෙන යමු අපි යන තැනක පෙම තද කරන් අපෙ යටි හිතේ..

හෙට්ටිගේ ලලිතා මගේ අක්කාට සුබ උපන් දිනයකට ආසිරි පතමි..
අනුරසිරි හෙට්ටිගේ
2017.12.21.

ජාතික රූපවාහිනිය හැර යා හැකිද ඔබට



එකල අප ටීවී එක කීවේ රූපවාහිනී සංස්ථාවට ය. මන්ද අප ටීවී බැලීම ආරම්භ කළේ සහ රටේ ටීවී විකාශය ආරම්භ වූයේ එකවිටම බැවිනි. අයිටීඑන් හෙවත් ස්වාධීන රූපවාහිනිය කලින් ආවත් රටේ ස්ථාවර රූපවාහිනී නාලිකාව හෙවත් ලංකික රූපවාහිනිය වූයේ රූපවාහිනී සංස්ථාවය. එය කොතරම් ප්‍රබල ලෙස ජනතා මනස ආමන්ත්‍රණය කළේ ද කිවහොත් එකල තමන්ගේ රූපවාහිනියේ අංක 1 යටතේ සුසර වන්නේ එයයි. ටීවී නැරඹීම ආරම්භ කරන්නේ එයිනි. ප්‍රවෘත්ති බලන්නේ සහ සිංහල දෙමළ චිත්‍රපට බලන්නෙ එයිනි. එනිසා ම රූපවාහිනි සංස්ථාව යන ව්‍යාවස්ථාපිත නාමය ඉවත ලා ජනතාව විසින් ඊට ‘ජාතික රූපවාහිනිය හෝ ‘ජාතික එක‘ ලෙස යළි නාමකරනය කල අතර එය එවැනි ජනතා ප්‍රසාදයක් ලත් පළමු නාලිකාව විය. මම රූපවාහිනී සේවයට එන්නෙ එය ආරම්භ ව වසර 10 ක් ගතවූ තැනය. එහි කිසිදු වටිනාකමක් නැත. මන්ද රූපවාහිනියට අදාළ වටිනා චරිත එහි ඒ වනවිටත් සිටි බැවිනි.

මේ කතාව රූපවාහිනිය ගැන නොවන නිසා එතෙකින් ඒ ඉතිහාසය නවතා ඒ ඉතිහාසය තුළ කිසිදා අමතක කළ නොහැකි පුද්ගල නාමයක් ගැන කතා කිරීමට කාලය ගොනු කර ගමි. ආරම්භයේ සිට රූපවාහිනියට රටේ කලාවේ පතාක යෝධයින්ගේ සහාය මනාව ලැබුණු අතර සේවක ගහණයක් ලෙසට මෙතුළ ඒකරාශී වූ යෝධයෝද සිටිය හ. ඒ අතර ටයිටස් තොටවත්ත, හෙන්රි ජයසේන. සාලමන් ෆෝන්සේකා, ධම්ම ජාගොඩ, එච්.එම්. ජයවර්ධන ආදිහූ මගේ මතකයට නැගේ. එම යෝධයන්ගේ සෙවණැල්ල යටතේ අනාගත අභියෝගය බාර ගත් ආධුනික පිරිසක් පසුව එක් වූ අතර මා දැන් මේ කතා කරන්නෙ එලෙස ආධුනිකයකු ලෙස ඇතුළත්ව පරමාදර්ශී පතාක යෝධයන්ගේ නාමයන් අතර සිට ගැනිමට වරම් ලත් රූපවාහිනි සේවකයකු පමණක් නොවේ මුළු රට ම දන්නා හඳුනන අයකු ගැන කියන්නට ය. 

ඒ අන් කවුරුවත් නොව අකුල රන්සිරි ලාල් ය.

ටයිටස් තොටවත්තයන් විසින් ඉතා විශිෂ්ට අනන්‍යතාවක් සනිටුහන් කරමින් ඇරඹි රූපවාහිනී හඬ කැවීම් සහ උපසිරැසි ගැන්වීම් කලාව ඔහුගෙන් පසු වසර විස්සක් පමණ ඇද ගෙන ගිය විශිෂ්ටතමයා අතුල ය. ජාතික රූපවාහිනියේ සභාපති හෝ අධ්‍යක්ෂ ජනරාල් කවුද කියා නොදන්නා බාල මහලු තරුණ සැවොම හඳුනන එකම සංස්ථා සේවකයා අතුල ය. ඔහු එතරම් ය චිරප්‍රසිද්ධ චරිතයකි. ඔහු විසින් හඬ කැවූ සහ සජීවකරණය කරන ලද විදෙස් නිර්මාණ ගණනින් ඉතා ඉහළය. එලෙසම දේශීය වශයෙන් කාටුන් කලාවක් නිර්මාණය කිරීමට ඔහු ගත් උත්සාහ අද වනවිට මල්ඵල දරා ඇත. අදටත් ජාතික රූපවාහිනිය සහ ප්‍රේක්ෂකයා අතර පාලම සාදන්නේ ඔහු විසින් මැදිහත්ව නිර්මාණය කරන අදාළ වැඩ සටහන් ඔස්සේ ය. වැඩි දුරටත් නොලියමි. ඔබට ‘චංගුමි‘ සිහි කර ගන්නට පමණක් කියමි. පහළට වැටෙමින් තිබූ ජාතික රූපවාහිනියේ ජනප්‍රසාදිතය රැක දුන්නේ එම විදෙශ් හඬ කැවීම් නාට්‍යය ඔස්සේ ය. කොටින් ම කිවහොත් අතුල යනු ජාතික රූපවාහිනිය ය. ජාතික රූපවාහිනිය යනු අතුල ය යන තරමට මේ නම්දෙක එකිනෙකින් වෙන් කළ නොහැකි තරමි.

එවන් අතුල රන්සිරි ලාලයන් අද දින සිය වසර 33 ක අඛන්ඩ ජාතික රූපවාහිනි සේවය නිම කරමින් සමු ගන්නා දිනයයි. මේ සමු ගැනීම රාජ්‍ය සංස්ථා සේවකයකු ලෙස ඔහුට මෙන්ම සැමටත් අනිවාර්ය ය. එනිසා වයස අවුරුදු 60 දක්වමින් ඔහුට සමු දිමට ජාතික රූපවාහිනිය සූදානම් ය. ඒ සමු ගැනීම අද රජත මැදිරියේ සිදු වනු ඇත. එය වෙනම ම කතාවකි. නමුත් අතුල සහ ලාංකික හඬ කැවීම් සහ සජීවකරණ කලාව එතකින් නිම නොවන්නක් විය යුතු ය. ඔහුගේ සහාය මේ වනවිටත් අවභාවිතව යන එම කලාවට ගෞරවණීය පදනමක් සකස් කිරීම වෙනුවෙන් ලබා ගත යුතුය. ඒ වෙනුවෙන් ජාතික රූපවාහිනිය සතුව ඉතා වැදගත් වගකිමක් ඇති බව පමණක් දැනට ලියමි. එය ඔහුට වැටුප් ගෙවන තනතුරක් පිරිනැමීමකින් එහා ගිය ඇකඩමික පරිසරයක ඔහුගේ නායකත්ව සේවය ලබා ගත හැකි අන්දමේ මැදිහත් විමක් වේ නම් අනාගතය වෙනුවෙන් කරනු ලබන වැදගත් ආයෝජනයක් වනු ඇත.

ඒ පිළිබඳව තමන්ගේ ගරු අවධානය යොමු කිරීමට රූපවාහිනියේ බලධාරීන්හට ආරාධනා කරමින් මේ සටහන නවතමි.

අතුල. මම නුඹට අය්යේ නොකියමි. මන්ද අපාතර මාස දෙකකටත් අඩු වයස් පරතරය මට කියන්නේ මචං කියන්නටය. කාර්යාලයේදී අතුල මහත්තයා කිවත් අපි හැමදාම මචංලා ය. එය හෙටත් එසේම වනු ඇත. ඉතිං මචං.. උඹ සමු අරන් ගිය හැටියෙම මමත් නුඹ පසුපසින් ම එමි. අප බොහෝ අය වෙනුවෙන් මෙහි ස්මාරක ඉදි නොවනු ඇතත් නුඹට එය හිමි ය. ඒ බව පමණක් කියමින් නිරෝගි චිර ජීවනයක් සහිත හෙට දවසක් වෙනුවෙන් නුඹට සුබ පතමි.

ඉතිං, අතුල.. 
අපි කොහේදී හෝ නොවෙයි 
මේ මෙතන, 
අප මුණ ගැහුණ තැන 
ඒ තමා ජීවිතය ජීවත් වන තැන 
හෙටත් හමු වෙමු. 
මතක සිතුවිලි අතර 
මදු බඳුනක පරතරය 
පමණකි ඇත්තේ 
පුරවමු ඒ හිස් තැන 
ඒක නම් හෙට නෙමෙයි මචං 
අද ම.. 





අනුරසිරි හෙට්ටිගේ

2017.12.22.
රූපවාහිනී සංස්ථාවේ සැපයුම් ඒකකයේ සිට.

දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය - නවකතා

තුලන පර්යේෂණ මධ්‍යස්ථානයේ ඇති චන්ද්‍රගුප්ත තේනුවරයන් විසින් නිර්මාණය කළ යුද සමයේ අතුරුදන් වූවන්ගේ ස්මාරක පවුර  හෘදය සාක්ෂියක් නැති ජ...