තුලන පර්යේෂණ මධ්‍යස්ථානයේ ඇති චන්ද්‍රගුප්ත තේනුවරයන් විසින් නිර්මාණය කළ යුද සමයේ අතුරුදන් වූවන්ගේ ස්මාරක පවුර |
හෘදය
සාක්ෂියක් නැති ජාතියක් විසින් තමන්ගේ රටේ පුරවැසියන්ගේ හෘදය සාක්ෂිය නිර්වින්දනය
කළ අතීත අත්දැකීම් පෙළහරක් අප හමුවේ විද්‍යමානව තිබේ. ඉන් බහුතරය නිදහසින් පසු යයි
අර්ථ ගැන්වෙන අනුකාරක වදනකට නතුව ඇති 1948න් පසු යුගය තුළ සිදු වූ සහ සිදු කරන ලද දෑ ය.
එයිනිදු 1971 තරුණ නැගිටීම සහ ඒ ඇසුරේ සිදුවූ තරුණ සංහාරයත් 1988-89 යුගයේදී සිදුවූ තරුණ සංහාරයත් ජාතියක් විසින් සිය
ජාතියේ අනාගත වගකීම විනාශ කිරීමේ අවස්ථාවන් දෙකක් ලෙස දැක්වීම අසාධාරණ නොවේ. 1983 සහ ඉන්පසු 2009 දක්වා වූ කාලයට ගැනෙන ජාතියක බලහත්කාරයට නතුවු රටක
වාසය කරන ඓතිහාසික උරුමකාරක සුළු ජාතියකට එල්ල කළ සමූල ඝාතනයකට ආසන්න ජන සංහාරය ද
පුරවැසියන්ට තමාගේ හෘදය සාක්ෂිය යළි ප්‍රශ්න කිරීමේ අවස්ථාවන් නිෂ්පාදනය කරදුන් බව
සිතමි. මේ සංහාරමය උන්මාදය නිසා පොදුවේ ජාතීන්ටත් රටේ ආර්ථිකයටත් සංස්කෘතික
අභිමානයක් වී නම් ඊටත් ඇති කරන ලද අපහාසය
සුළුපටු නොවේ. එනිසාම මේ යුගයන්
රටේ අඳුරු යුගයන් ලෙස ඉතිහාසය තුළ සටහන්ව තිබේ.
තමන්ගේම
හෘදය සාක්ෂිය ප්‍රශ්න කරන තමන්ගේ ම ඉතිහාසයට අයත් අඳුරු ලප එරට කලාකරුවන්ගේ
නිර්මාණ නිමිති බවට පත් වෙයි. මන්ද කලාකරුවාගේ සංවේදි සිත මේ අන්ධකාරය වේදනාවක් සේ
කොට විදින බැවිනි. අප රටේද අප ඉහතින් දැක්වූ යුග පිළිබද බොහෝ නිර්මාණ බිහි ව තිබේ.
නමුත් එම අත්දැකීම තමාට දැනුණ සහ විදනු ලැබූ ආකාරය අනුව එම නිර්මාණ බොහෝමයක් සිංහල
තරුණ ගැටුම් අවස්ථා දෙක ඇසුරේ වැඩෙනු පෙනෙයි. සිංහලයා දෙමළාගේ ගැටලුව ගැන යම්
කතිකාවක් ඇති කර ගත්තත් දෙමළ සංහාරය පිළිබද දැක්වූ නිර්මාණාත්මක විදීම කොහෙත්ම
සතුටුදායක තත්ත්වයක නොපවතීන්නකි. එය වෙනම කතිකා කළ යුතු කාරණයක් බැවින් එය පසුවට
තබමි.
අපට ඉහත
පූර්විකාවට නිමිත්ත සැපයූ තරංගනී රෙසිකා ප්‍රනාන්දුගේ දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය‘ නම් නවකතාව ගැන දැන් අවධානය යොමු කරවමු. මේ සටහන ඇගේ
නිර්මාණය ගැන කතිකාවක් පවත්වන අද දවස (27)
එහි පැමිණ අදහසක් දැක්වීමට මට
නොමැති අවස්ථාව ආවරණය කරනු වස් කියවීම පිණිස ම ලියන බැවින් සීමා සහිත අදහසක්
වෙනුවෙන් සටහන ලඝු කරමි.
මේ නවකතාවේ
පසුබිම අප අපගේ හදවතට සමීපව අත්විදි 88=89 අරගලය පසුබිම් කොට නිර්මාණය වි තිබේ. එම යුගයේ සිදු
වූ සහ සිදු වන්නට ඇති බොහෝ දෑ ගැන අපි දැන සිටිමු. එම නිසා තරංගනී තමන්ගේ පළමු
නවකතාවට එවැනි ප්‍රසිද්ධ සහ ජනප්‍රිය විෂයයක් පාදක කරගැනීම ම යම් තරමක අභියෝගයක්
ලෙස සැලකීම වටී. මන්ද කිසියම් අපූර්වත්ව කියවීමක් නොලදහොත් මෙය නිසැකවම නීරස
කියවීමක් වනු ඇති බැවිනි.
අපගේ
කියවීමට අනුව තරංගනී රෙසිකා හෙවත් තරූ නංගි මේ අභියෝගය තමන් සතු නිසඟ ලේඛක ජවය
මොනවට දැක්වීමේ වැඩබිමක් කොට ගෙන ඇති බවයි. තමන්ට ඉතාමත් සමීප ආගමික මිහිරියාවට
ඇතුළු වී ඒ තුළට තමන්ගේ කතාව බහා ලීම ම ඇය තමාගේ අභියෝගය ජය ගැනීම වෙනුවෙන් ගත්
ඉතා නිර්භීත මෙන්ම සාර්ථක පියවරක් බව අපට දැනෙන්නෙ නවකතාවේ නව ආඛ්‍යානය සකස් කර
ගැනීමට ඉන් ලැබී ඇති පිටිවහල අපමණ බැවිනි.
සැබැවින්ම මේ නවකතාවේ ආකෘතිය නැවුම් ය. ස්වීය ය.
කවීත්වයකින් අනූන ය. මෙවැනි ආකෘතියක් උදෙසා සකස් කර ගත යුතු භාෂාත්මක කුසලතාව පවා
මහත් අභියෝගයකි.
නිර්මාණකරුවා නිතර උපුටා දක්වන
බයිබලයේ පාඨාස්පර්ශය තමාගේ මුළු නිර්මාණය පුරාම ඇතිරීමට ඇය ගන්නා ප්‍රශස්ත වෑයම මේ
නවමු ප්‍රයත්නයේ මුඛ්‍ය ශක්තිය බව මම විශ්වාස කරමි. මෑත කාලීන නව නිර්මාණකරුවකු
අතින් නිර්මිත ප්‍රශස්තතම භාෂා මාත්සර්යය මා අත්වින්දේ මෙම නිර්මාණය ඇසුරේය කීම
අතිශයෝක්තියක් නොවේ.
මෙහි එන
චරිත සියල්ලම පාහේ අපේ යුගයේ අප සමඟ හෘදය සංවාදයක නිරත චරිතයෝ ය. මට මගේ අතීතයේ
දිනක මෙහි එන ජනතා අරගලයේ තීරණාත්මක මැදිහත් විමක් කරමින් සිට යුගයේ භීෂණ
අන්ධකාරයට මැදිව සිය ජීවිතයෙන් අරගල මාවතේ රක්ත වර්ණ ධජයක් නැංවූ ගරු මයිකල්
පියතුමාගේ චරිතය වේදිකාව මත රඟ දැක්වීමේ විරල අවස්ථාව ලද නළුවකු නොවන නළුවා වීම මා
ලද භාග්‍යයක් බව තරූ නංගි නොදන්නවා වියහැකියි. කපිල කුමාර කාලිංග රචනා කර නිමල්
ඒකනායක විසින් අධ්‍යක්ෂණය කරන්නට යෙදුණ ‘උක් දඬු ගින්න‘
වේදිකා නාට්‍යෙය් එම චරිතය රඟ පෑ
නොනළුවා මම වෙමි ය. වෙඩි වැදී වේදිකාව මත ඇද නොවැටුණත් උක් ගොවීන්ගේ අරගලය නිරූපිත
පෙලපාලිය ඉදිරියෙන්ම ගමන් කළෙමි.
ඒ අතුරු කතාවකි. නමුත් එම කතා පවා
අප තුළ යළි නින්නාද කරවන මෙම සුන්දර නවකතාව එම යුගයේ විනාශයට පත් වූ රටක හෘදය
සාක්ෂිය මොනවට ඉස්මතු කරවයි.
මයිකල් රුද්‍රිගු පියතුමා |
නිර්මාණය
තුළ දී දේශද්‍රේහී ගැරහුමට භාජනය වන ආදිත්‍ය නම් තරුණ
මානවකයාගේ ජීවනය අප හදවත් තුළ උත්ථානය ලබන්නේ ඔහු අනෙකකු නොව අප ම ය යන හෘදය
සාක්ෂිය අප තුළ මතු කරවමිනි. චරිත විකාශනය මෙන්ම අවස්ථා සිද්ධි නිර්මාණයද තමා
විසින් සකස් කර ගන්නා නැවුම් ආඛානයට සාපේක්ෂව ගොඩ නැංවීම කතාකරුවාගේ ප්‍රබන්ධමය
හැකියාවට දෙස් දෙයි. මෙහි එන කිසිදු චරිතයක් තමාගේ අපේක්ෂාවෙන් පිටතට ඇදී යාමට
කිසිම අවස්ථාවක් ලබා නොදෙයි. කෙටි වැකි,
මෙන්ම කෙටි පරිච්ඡේද ඇසුරේ
කතාකරුවා තමාගේ පූර්ණ ආදිපත්‍යය නිර්මාණය තුළ අතුරයි. නවකතාවක් නම් එහි කතාන්දරයක්
තිබිය යුතුය.. යන හැඟීම නවකතාව විෂයයෙහි ඊ.එම්. ෆොස්ටර් ඇති කළ මතය අද වනවිට එහි
වෙනත් අන්තයක් කරා විකාශනය වී ඇති බව යළිදු වතාවක් ඔප්පු කිරීමට මෙම නිර්මාණයේ
කතුවරියද උත්සාහ ගෙන ඇති බව අපට වැටහෙන්නේ අවශ්‍ය තැන්හී සිදු විය යුතුයයි සමහර
විට අපට සිතෙන පූර්ණ කතාන්දරයකට අවශ්‍ය ඉඩකඩ හිතුවක්කාර අන්දමින් අහුරමින් සමහර
පරිච්ඡේද ‘දඩස්‘
ගා අවසන් කරනු හමු විමය. ඒ
තරුරසීගේ ආඛ්‍යාන විලාසයයි. එය ප්‍රශ්න කිරීමට අපට ඇති අයිතිය කුමක්ද? වින්දනය කතුවරයාගේ කාර්යය නොවේ. එය පාඨකයාගේ
කාර්යයයි. එනිසා කතුවරිය තමාට අවශ්‍ය පමණට පමණක් පාඨකයා සන්තර්පණය කර ඉතා ඉක්මනින්
මාර්ගය වෙනස් කර ගනියි. එය දක්ෂ කතාකාරියකගේ නව්‍ය වූ උපක්‍රමයක් බව නොකිව මනා ය.
එසේම
මෙහි සමහර පරිච්ඡේදවල වාර්තාමය ස්වරූපයක් ගැබ්ව තිබෙනු අපට දැනෙයි. ඒ කතුවරිය සතු තොරතුරු සියල්ල මුඛ්‍ය
කතා පුවත හා බද්ධ කර තැබිමේ අපේක්ෂාව විසින් ඇති කරනු ලැබූ ප්‍රබන්ධාත්මක
අඩුපාඩුවත් බව දැනෙතත් ඒවා අමතක කිරීමේ විසල් ගුණයක් සමස්ත කතා ශරීරය තුළ
වැතිරවීමට හැකි වීම කතුවරිය ලැබූ අගනා ජයග්‍රහණයකි. එනිසාම මේ කෘතිය පඨනකය කරනු
ලබන්නාට තමාගේ කියවීමට මනා සාධාරණයක් වනු දැනෙන්නට ගනියි. නවකතාවකින් නොහොත් ප්‍රබන්ධ
කතාවකින් ඊට වැඩි යමක් අපේක්ෂා කළ යුතුද?
ඉතා
කෙටියෙන් වුවත් මේ බවත් සටහන් කළ යුතුම ය. මෙය දේශපාලන නවකතාවකි. යුගයක අන්ධකාර
තීරුවක් දෙසට ආලෝක දාරාවත් එල්ල කරන අගනා ලියවිල්ලකි. පර්යේෂණකාමි විද්‍යාර්ථීන්ට
යුගයක් පිළිබඳ බොහෝ දේ අවබෝධ කරවන නිබන්ධයකි. මේ සියල්ල අප වෙත පිරිනමමින් කතුවරිය
අපගේ හෘදය සාක්ෂිය ප්‍රශ්න කරයි. එය නවකතාවක් වැනි කලා නිර්මාණයකින් සුදු කරනු ලබන
විරල මැදිහත්වීමකි. එනිසා ම මෙම නවකතාව පාඨකයාට විරල අත්දැකීම් කැඳවන අගනා
නිර්මාණයක් බව දැනෙනු නොඅනුමානය.
මෙම සටහන
පරිපූර්ණ සාධාරණයක් තරුරසීගේ කෘතියට නොකරන බව මම දනිමි. නමුත් මට ඉඩක් ඇත්තේ
මෙතැනින් නතර විම දක්වා පමණි. එනිසා මට මේ උපුටනය දක්වමින් සමු ගන්නට අවසරය දෙන්න.
‘‘ අනේ,
ඔබ මාගේ මවුගේ පියයුරුවලින් කිරි
බීවා වූ මාගේ සොහොයුරා මෙන් වී නම් මම කැමැත්තෙමි. එවිට පිටතදී ඔබ මට හමු වූ කල ඔබ
මා සිප ගත්තත් කිසිවකු මා හෙළා නොදක්නේ ය...‘‘
ප්‍රේම ගී 8. 1
දේශද්‍රෝහියාගේ
නිර්මල හදවත - පිට 58
තරු..
ඉතිං මට ඔබේ ප්‍රේම ගී උපුටනයේ මා කැමති සංශෝධනයකට අවසර දෙන්න.. එහි / සොහොයුරා//
යන්නට /සොහොයුරිය// ආදේශ කරන්නයි ඔබෙන් ඉල්ලමින් මම නවතිමි.
අනුරසිරි
හෙට්ටිගේ
2018.01.26